Monday, March 30, 2015

නෙළුම් යාය සම්මාන උළෙලේ තේමා ගීතය හැදුණු හැටි.




නෙළුම් යාය සම්මාන උළෙල මාර්තු 26 පැවැත්වුන බව ඔයාල හැමදෙනාම වගේ දන්නව ඇතිනෙ. ඉතිං ඒකට මමත් සහභාගී වුනා. එතනදි මට බ්ලොග් ලියන කීප දෙනෙක්ම හම්බවෙන්න අවස්ථාවත් උදාවුණා. කොළඹ ගමයා ලියන අජිත් අයියා, මාතලන් අයියා, ඉවාන් අයියා, සුදීක අයිය, අටං අයියා, බස්සි, කල්‍යාණ මිත්‍ර, කටුස්සා, මනෝගේ ලෝකය ලියන මනෝජ් ෆර්නැන්ඩු, අපේ දිලිනි, සජ්ජා, ගන අඳුර ලියන මහේෂ්, හිත හීලෑ නෑ ලියන මලයා, ඊළඟට වෙනියා ඔය වගේ තව කීප දෙනෙක්ම හිටියා. ඉතිං ඒ උත්සවය ඉතාමත්ම හොඳට පැවැත්වුනා කීවොත් වැරැද්දක් නෑ. ඔය උළෙලට මට යන්න සෙට්වුනේ තව වැදගත් වැඩක් බාර දීල තිබ්බ නිසා. ඒ වෙන මොකක්වත් නෙමේ ඉතිං නෙළුම් යාය තේමා ගීතය ගායනය කරන්න :D. 

ඔය අවස්ථාව උදාවුනේ අහම්බෙන් කීවොත් හරි. මෙහෙමනෙ සීන් එක. අපේ අජිත් අයියා මේ සම්මාන ප්‍රධානය ගැන කියල ඒ සම්මාන ලබන අයගේ නම් ලිස්ට් එකක් එහෙම දාල තිබ්බ මතක ඇතිනෙ. ඉතිං ඔය ලිස්ට් එකේ දිලාගෙ ලෝකය ලියන අපේ දිලිනිටත් සම්මානයක් තියෙනව කියල තිබ්බා. 

මෙතන ඉඳන් කියන්නෙ මට හිතුන විදිහට හරිද :D. ඉතිං ඕක දැක්ක ගමන් දිලිනිට මාරෙට හැපි හිතෙන්න ඇති. මොකද ඉතිං සම්මානයක් හම්බෙනවා කියන්නෙ කාටත් සතුටු හිතෙන දෙයක්නෙ. ඒක මටත් එහෙමයි කියවන ඔයාලටත් එහෙමයි. ඉතිං ඒ කික් එකටම තව දවස් දෙක තුනකින් දිලිනි ලියනවා යායට පායනා කියල ලස්සන කවි සෙට් එකක්. (දැන් මම හිතපු විදිහ අවසානයි)

ඕකට ඉතිං වෙනද වගේම කට්ටිය කමෙන්ට් කරනවා. මාත් ඉතිං කමෙන්ට් එකක් දාල ආව වෙනද වගේම. ඔන්න පහුවදා මගෙ ජීමේල් එකට ලොග්වුනාම ඊමේල් එකක් තියෙනව දිලිනිගෙන් "මොකද කියන්නේ කියල". මාත් ඉතිං මොකද්ද දන්නෑ අහල තියෙන්නෙ කියල බලන්න ඕපන් කළා මේල් එක. ඒකෙ තියෙන්නෙ එයාගේ බ්ලොගේ කමෙන්ට්ස් ටිකක ප්‍රින්ට් ස්ක්‍රීන් එකක්. බැලින්නම් මෙන්න මම දාල ආව කමෙන්ට් එකේ අපේ අජිත් ධර්මා අයියා කමෙන්ට් එකක් දාලා.

"දිලා සහ මනා , මෙහෙම යෝජනාවක් තිබෙනව. අපි කැමතියි මේ කවි පන්තිය සින්දුවක් ලෙස මනා ලව්වා ගායනා කරන්න. මේක තමා නෙළුම් යායේ තෙමා ගීතය. මොකද කියන්නේ?"

ඊට යටින් දිලිනිත් ඒට කැමතියි කියල දාල තිබ්බා.  

ඉතිං මේක දැක්ක ගමන් මම ආයෙ දෙපාරක් හිතුවෙ නෑ කෙලින්ම ගියා අදාළ පෝස්ට් එකට. දැම්ම  මම වැඩේට කැමතියි කියල. ඉතිං ඊට පස්සෙ අපි තුන්දෙනා මේ සීන් එක ගැන තව දුරටත් ඊමේල් කීපයක් මගින් කතා කරගත්තා. මම එතැනදී දවසක් දෙකක් ඇතුලත සාම්පල් එකක් එවන්නත් පොරොන්දු වුණා. ඉතිං එහෙම කිව්වට මම මේකට මෙලඩි එකක් දාන්නත් ඕනනෙ. ඒකත් එදා රෑම ඉවර කරල කියන්න ඕන මෙලඩි එක ශේප් එකේ හදා ගත්තා. මම පහුවදාම මගෙ ෆෝන් කට්ටෙන් පොඩි රෙකොඩින් පාරක් දාල අදාළ බලධාරීන්ට යැව්වා. මෙන්න දවස් දෙකකට විතර පස්සෙ මට මේල් ඇවිත් තිබ්බා එයාල මොනවද ඒක ගැන හිතන්නෙ අනං මනං කියල. ඔන්න ඊට පස්සෙ මරු සීන් එක. මම ඒක හදල සතියකට දෙකකට  විතර පස්සෙ ඒ කියන්නෙ පෙබරවාරි මැද වගේ ඉඳං ආගිය අතක්  නෑ. සැරින් සැරේ ඉක්මනට ඇවිත් ගියාට කමෙන්ට් එකක් දාන්නවත් වුනේ නෑ. හැබැයි ඒ අතරේ මට මොකද වුනේ, ඇයි එනනෙ නැත්තෙ, බ්ලොග නවත්තලද අනං මනං අහල කීප දෙනෙක්ම ඊයවල් විදල තිබ්බ. ඔය අතර තුර මට අජිත් අයියත් ඊයක් දෙකක් එවල තිබ්බා. මුලින්ම වැඩේ සෙට් වෙලා තිබ්බේ වෙන දවසකටනෙ. මෙන්න එක ඊයක තියෙනවා වැඩේ කල් ගියා 26 වෙනිදට කියල. දැන් මාර සීන් එක. මට දැන් ෂුවර් එකක් නෑ එදාට එන්න පුළුවන් වෙයිද කියල. මට මොකක් හරි තව වැඩක් සෙට් වෙන්න වගේ සීන් එකක් තමා ඒ වෙද්දී තිබ්බෙ. මම ඕක කියල අජිත් අයියට ඊයක් විද්දා. මට එදාට එන එක සුවර් නැත කියල :D. මෙන්න දැන් අජිත් අයියා එවනව "මල්ලි එදාට ඔයා එන්නම ඔනෙ. එන්නෙ නැතුව ඉන්න එපා කියල". දැන් ඔය සිද්දියෙන් පස්සෙ මට බ්ලොග පැත්තෙ එන්නම වුනේ නෑ මර්තු 20 පහු වෙනකං. ඔන්න මාර්තු 24 වගේ මම ආව ආයෙත් බ්ලොග් පැත්තෙ. ඇවිත් බැලුවම තියෙනවා අජිත් අයිය ලංකාවට ඇවිත් කියල ෆෝන් නොම්මරයක් එහෙම දාල ඕන වුනොත් අමතන්න කියල. මම ඊට පහුවදා යැව්ව හරි අයියා හෙට (26) එහෙනම් සෙට් වෙමු කියල. මම හිතන්නෙ ඒ මේල් එක දැක්කම වෙන්න ඇති අජිත් අයියගෙ ඔළුවේ තිබ්බ තව බරක් නිදහස් වෙන්න ඇත්තෙ. මොකද දන්නවද මම 26 ගිහිං අපේ කමියල එක්ක කතා කරද්දී තමා දැන ගත්තෙ අජිත් අයියා මම එන එකක් නෑ කියල හිතිල ෆෝන් නොම්මරයක් හොයල තියෙන විත්තියක් මට කතා කරන්න :D. ඉතිං කොහොමින් කොහොම හරි තේමා ගීතෙත් ගායනා කළා. ඒක ලියපු දිලිනිව දැක්කෙත් හරියටම ස්ටේජ් එක උඩදි. සිංදුව ඉවර වෙනකං දිලිනිත් ස්ටේජ් එකේ හිටිය. ඒ හිටිය එක ගොඩක් හොඳයි මොකකටවත් නෙමේ එවෙලෙ මම ටිකක් බයේ හිටියෙ සිංදුව හරියට කියා ගන්න බැරි වෙයි වත්දෝ කියල :D. 

මේ තියෙන්නෙ ගීතය ගායනා කරන අවස්ථාවෙ ෆොටෝ එකක්.

දිලා සහ මනා



ලස්සනට සින්දුව කිව්වද කියල මම තාමත් හරියටම දන්නෙ නැහැ හැබැයි. සිංදුව ඉවර වුනහම ලැබුණ අත්පුඩි සද්දෙන් මට හිතෙනව මම අවුලක් නැතිව වැඩේ ගොඩ දාල කියල :D. ඔන්න ඔහොමයි ඉතිං දිලිනිගෙ යායට පායනා කවි පද ටික නෙළුම් යාය තේමා ගීතය වුනේ. එදා සම්මාන උළෙලේදී කිව්ව එකේ වීඩියෝ එක හෝ ඕඩියෝ එකක් මට හොයා ගන්න බැරිවුන නිසා මම ආයෙත් මගෙ ෆෝන් කට්ටෙන් රෙකෝඩ් කරල එඩිට් පාරක් දාල ඔයාල හැමෝටම අහන්න පුළුවන් වෙන්න යූටියුබ් එකට අප්ලෝඩ් කළා. මේ තියේන්නෙ ඒ ගීතය. අහල බලන්නකො හොඳද කියල.



එහෙනම් මම ගියා. සියළු දෙනාටම ජය වේවා!!!

Saturday, March 14, 2015

බලාපොරොත්තු පොදි බැඳගෙන බලාගෙන ඉන්නවා

balaaporoththuwa

ක්‍රිකට් ලෝක කුසලානෙත් ගැට්ටටම ඇවිත් තියෙන වෙලාවේ මට හිතුන පාළුවට ගිහින් තිබ්බ මගේ බ්ලොග් එකේ මොකක් හරි දාන්න ඕනෙ කියල.  මම හිතල බැලුව මෙහෙම කාලෙකින් බ්ලොගක් දාද්දි මගෙ ආදරණිය රසික රසිකාවියන්ට දෙන්න පුළුවන් හොඳම දේ මොකද්ද කියල. ඕක ගැන හිතල හිතල අන්තිමේට මතක් උනා " අඩේ අප්පා මොකක්වත් නෑ නොවැ ලියන්න කියල".  ඔන්න ඔය සිතුවිල්ල ගැන මම ලත වේවි ඉන්දෙද්දී මට සෙට් උනා පට්ට මූවි ට්‍රේලර් එකක්. හෑ මොකා කිව්ව ට්‍රේලරයක්. නෑ නෑ එහෙම එකක් නෙවේ ආයුබෝවන්ඩ. මම කිවේ චිත්‍රපට පූර්ව දර්ශණ පටයක් ගැන. 

ඉතින් චිත්‍රපටියක් ගැන කීවාම කවුද කැමති නැත්තෙ මන් අහන්නෙ. ඒවගෙත් තියෙනවනේ එක එක වර්ග. බය හිතෙන එව්වා, ත්‍රාසජනක එව්වා, රොමැන්ටික් එව්වා, ඊළඟට කොමඩි, සයිෆයි (මොකක් සයිෆයි ???? ඒ කිව්වෙ සයන්ටිෆික් ෆික්ෂන් එහෙම නැති නම් විද්‍යා ප්‍රබන්ධ), ඊළඟට ඉතිහාස කතා ඔය වගේ තව තව ජාති තියෙනවනෙ. අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඇයි අර නිල් චිත්තරපටි :P.

කොහොම හරි ඔය ඔක්කොගෙන්ම මම කැමති ඉතිහාසය කියන කැටගරි එකට. ඒකෙදි ඇත්තම ඉතිහාස කතා වගේම ඉතිහාස කතාවට තව අතින් පයින් දාල හදපු ඒවත් තියෙනවනෙ ආයුබෝවන්ඩ. ඒවගෙනුත් ඓතිහාසික යුධ කතා වලට මම පට්ටම කැමතියි. ඔය Brave Heart, King Arthur, Troy, 300, Gladiator, Kingdom of Heaven, Robin hood, The Last Samurai වගේ ෆිල්ම් ඒවගෙන් කිහිපයක් විතරයි. ඉතින් අර මාර්ටින් ලූතර් කිං මහත්තය කිව ප්‍රසිද්ධ කතාවේ වගේ වාක්‍යයක් මටත් තිබ්බා. ඒ මහත්තය කිවේ I have a dream. මටත් මුලින්ම ඔය උඩින් කියල තිබුන ෆිලුම් බලද්දී තිබ්බේ ඔය කතාවම තමා :D. යකෝ අපේ රටේ කවද්ද අප්පා මේ වගේ ෆිල්ම් එකක් හදන්නෙ කියලා. ඉතින් ඔහොම ඉද්දි ඔය හීනෙ 2008 දි විතර හැබෑ වෙන්න පටන් ගත්ත. කාට කාටත් මතක ඇති නොවැ ජැක්සන් ඇන්තනි මහත්තයගෙ "අබා" චිත්‍රපටිය. එකෙ තරමක් දුරට සාර්ථකව කතාව වගේම තාක්ෂනය හොඳ මට්ටමින් කරල තිබුන. ඉතිං ඔන්න ඔතනින් අපේ රටේ චිත්‍රපට ක්ෂේත්‍රයේ එක හැරවුම් ලක්ෂයක් උදාවුණා කිවොත් මම හරි. එතන ඉඳන් ඉතිහාස කතා රැගත් චිත්‍රපට රැල්ලක් අපේ රටේ ඇති වුනා. මම ඒවගේ නම් කියන්න යන්නෙ නෑ ඔං. ඉතින් එහෙම බිහිවෙච්ච චිත්‍රපට අතරින් සමහර ඒවා ඉතා දියුණු මට්ටමේ තිබුන. 

ඔය ඔක්කොටම කලින් ඒ කාලෙදිම අපේ රටේ ප්‍රවීනතම සිනමා අධ්‍යක්ෂ වරයෙක් වන ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා එතුමා කරන්න හිතන් ඉන්න චිත්‍රපටියක තිර පිටපත (මට මතක විදිහට) ඉරිදා දිවයින පුවත්පතේ කොටස් වශයෙන් පළ කරන්න පටන් ගත්තා "මහරජ ගැමුණු" කියල. ඒ තිර පිටපත කියවන්න  පටන් ගත්ත කාලේ ඉඳන් මම ඇඟිලි ගැන ගැන හිටියේ ඊළඟ කොටස පළ වෙනකන්. ඒ තරමට ඒ කතාව රසවත්ව එතුමා ලියල තිබුනා. ඒ ලිපි කියවන හැමවෙලේම අපේ හිත් වල එම චිත්‍රපටිය මැවිලා පෙන්න පටන් ගත්තා මට තාමත් මතකයි. ඒ කාලේ එම චිත්‍රපටය කරගන්න බැරි උනේ මුදල් ප්‍රශ්නයක් හින්ද කියල තමා එතුමා පත්තරේ දාල තිබ්බේ ඒ කාලේදි. ඉතිං කොහොමින් කොහොම හරි මම හිතුවෙ ඔය ෆිල්ම් එක කවද හරි King Arthur වගේ ෆිල්ම් එකක් වේවි කියල. දැන් ඒ චිත්‍රපටය නිර්මාණය කරල හෝල් වල තිරගත වෙන බව කවුරුත් දන්නව ඇතිනෙ. මම නම් බැලුව. හොඳ කතාවක්, සංගීතයක් වගේම හොඳ කැමරාකරණයකින් ඒ ෆිල්ම් එක සමන්විත උනත් අර මම කලින් කිව එම චිත්‍රපට තිරපිටපතේ තිබ්බ යුද්ධමය දර්ශන එතරම් නොපෙන්නුවේ ඇයි කියන එක මට එවෙලෙ හිතුනත් එවැනි දර්ශණ රූගත කිරීමට අවශ්‍ය කරන තාක්ෂනය සහ වියදම අධික නිසා එම සිද්ධි ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් නොකර ඉන්නට අධ්‍යක්ෂතුමා තීරණය කළා වන්නට පුළුවන්. කොහොම හරි ඒ චිත්‍රපටය ඉතාමත්ම උසස් නිර්මාණයක් කියන එක මේ අවස්ථාවේදී කියන්නම ඕනේ.

ඉතින් ඔන්න ඔය යුධ දර්ශණ නැති එක ගැන කනස්සල්ලෙන් ඉද්දි මීට දවස් තුන හතරකට කලින් මේ ලිපිය පටන් ගද්දිම කීව සුපිරි චිත්‍රපට පූර්ව දර්ශණ පටය මට අහම්බෙන් බලන්න සෙට් උනා. මෙන්න බොලේ ඒකෙ අර හොලිවුඩ් ටයිප් එකේ සීන්ස් ගොඩක් තියෙනවා. මටනම් ඇත්තටම ඒක හොලිවුඩ් ෆිල්ම් එකක් වගේ පෙනුනෙ. තාක්ෂනය ඉතාමත්ම සුපිරියට යොදාගෙන තියෙන පාටක් තමා මටනම් පෙනුනේ. මේ චිත්‍ර පටියේ නම "ආලෝකෝ උදපාදී". වළගම්බා රජතුමා ගැන තමා මේ චිත්‍රපටය මගින් පෙනවන්නෙ. ඒ එක්කම ත්‍රිපිටකය ග්‍රන්තාරූඩ කරන එක ගැනත් කියවෙනවා. ඉක්මනටම තිරගත කරනතෙක් නොඉවසිලිමත්ව තමා ඉන්නෙ ඔං :D.කොහොම හරි මේ ෆිල්ම් එකත් ලංකා සිනමාවේ හැරවුම් ලක්ෂයක් වෙයි කියල මට හිතෙනව. පහලින් තියෙන්නෙ ඒ චිත්‍රපට පූර්ව දර්ශණ පටය. බලන්නකො කොහොමද කියල. 




ඉතිං ඔන්න මනා ආයෙත් බ්ලොග් එකට ඇවිත් යන්න පටන් ගත්තා :D. ඒ වගේම මට මාසෙකින් විතර කාගේවත් බ්ලොගක් පැත්තෙ ගිහින් කොමෙන්ටුවක් දාන්නත් බැරි උනා ඒකට සමාව ඉල්ලනවා මේ වෙලේ බ්ලොග් ලියන සියළුදෙනාගෙන්ම.

මේ මාසේ 26 වෙනිදා නෙළුම් යාය සහෘදය මගින් පවත්වන සම්මාන උළෙලට තේමා ගීතය ගායනය කරන්න වස්තාවකුත් හම්බවුනා. ඒ වැඩේට පුළුවන් හැම කෙනෙක්ම සහභාගී වෙන්න කියල අරාධනා කරනවා. එහෙනම් සියළු දෙනාටම ජය වේවා!!!